Friday, September 13, 2013

මෙසපොටේමියාව (යුප්‍රටීස්-ටයිග්‍රීස් දෙගම්මැදි රාජ්‍යය)

මෙසපොටේමියාව
මෙසපොටේමියාව ලෝකයේ පළමු ජනාවාසය හෙවත් ශිෂ්ඨාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වෙන යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න දෙක අතර පිහිටා ඇති ප්‍රදේශය වන අතර ක්‍රි.පූ. පස්වන සහස්‍රයේදී පමණ එනම් අදින් අවුරුදු 7000 කට පෙර එහි ජීවත්වූ සුමේරියන්වරු එම සාරවත් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු ආරම්භ කළහ.විවිධ යුග පසුකල මිනිසා කෘෂිකාර්මික යුගයට අවතීර්ණ වීමත් කෘෂිකාර්මික කටයුතු ආරම්භයටත් පෙර තිබූ කුඩා නගර වඩා සංවිධානය වෙමින් ක්‍රමවත්ව දියුණු වීමත් නව නිර්මාණ බිහිවී දියුණු ශිෂ්ඨාචාරයක් ඇතිවීමත් යන කරුණූ හේතුවෙන් මෙසපොටේමියාව ශිෂ්ඨාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වෙයි. කෘෂිකාර්මික කටයුතු නිසා ඉතිරිවුනු කාලය අලුත් දෙයක් පිළිබදව සිතීමට යොමුකළ හැකිවීම අලුත් නිර්මාණ රාශියක් බිහිවීමට හේතුවන්නට ඇත.පැරණි මෙසපොටේමියාව වර්තමානයේ ඉරාකය සිරියාව පිහිටා ඇති ප්‍රදේශයවේ.  

වසර 2500 ක් පැරණි බැග්ඩෑග් බැටරිය 
  • ක්‍රි.පූ.8700 තඹ භාවිතාකර සෑදු ආභරණයක් උතුරු ඉරාකයෙන් හමුවීම ලෝහ භාවිතය පිළිබඳ පැරණිම පුරාවිද්‍යත්මක තොරතුර වෙයි.
  • ක්‍රි.පූ.6000 දී පළමු නගුල නිර්මාණය.
  • ක්‍රි.පූ.5300 දී පළමු නගර නිර්මාණය වන උර් (Ur). 
  • ක්‍රි.පූ.4000 දී සුමේරියානුවන්ගේ ලේඛන කලාව ආරම්භ වීම.
  • ක්‍රි.පූ.4000 දී පළමු ඇළමාර්ගය නිර්මාණය.
  • ක්‍රි.පූ.3200 දී රෝදය සොයාගැනීම.
  • ක්‍රි.පූ.2800 දී සබන් නිපදවීම.
  • ක්‍රි.පූ.250 දී බෑග්ඩෑඩ් බැටරිය හෙවත් පාතියන් බැටරිය ලෙස හැඳින්වෙන ලෝකයේ ප්‍රථම ඉලෙක්ට්‍රික් බැටරිය නිර්මාණය (මෙම බැටරිය  ආභරණවල රන් ආලේප කිරීමට යොදා ගන්නට ඇතැයි සැලකේ).
මෙසපොටේමියාවේ නිමැවුනු නව නිර්මාණ කිහිපයක් ඉහතින් දැක්වෙයි.
සුමේරියානුවන් මෙම ප්‍රදේශයේ දියුණු ජනාවාස ආරම්භ කරන විට එයට සමගාමීව යාබද ප්‍රදේශවල ආකේඩියානුවන් බැබිලෝනියානුවන් ඇසේරියානුවන් වාසය කළහ.සුමේරියානුවන් කලු හිසකෙස් ඇති සුමේරියානු භාෂාව කතාකරන දකුණු මෙසපොටේමියාවේ වාසයකල ජන කොට්ඨාශයක්වූ අතර අතර එ‍‍ඬේර ගෝත්‍රික ජනකොට්ඨාශයක්වූ ආකේඩියානුවන්ද බැබිලෝනියානුවන්ද එම ප්‍රදේශ ආශිතවම ජීවත්වූ අතර ආකේඩියානුවන්ට සමබන්ධ එ‍ඬේර ගෝත්‍රයක්වූ ඇසේරියානුවන් උතුරු මෙසපොටේමියාවේ වාසය කළහ.ආකේඩියානුවන් බැබිලෝනියානුවන් ඇසේරියානුවන් සෙමටික් භාෂා වර්ගයට අයත්වන භාෂා කතා කළහ.සුමේරියානු භාෂාව වෙනත් කිසිම භාෂාවකට නෑකම් නොකියන භාෂාවක්වූ අතර මුල්ම ලේඛන මැටිපුවරු මත සටහන් කලේද සුමේරියානුවන් විසිනි.සුමේරියානු භාෂාව සහ ආකේඩියානු භාෂාව එකිනෙකා මත අන්‍යෝන්‍යය බලපෑම් ඇතිකළ අතර ආකේඩියානුවන් සුමේරියානුවන්ගේ අක්ෂර උපයෝගී කරගෙන ඔවුන්ගේම අක්ෂර මාලාවක් නිර්මාණය කළහ.

සුමේරියානු පුවරුවක්
පසුකාලීනව ආකේඩියානු රජෙක්වූ සාර්ගෝන්(Sargon) ක්‍රි.පූ.2300 දී ආකේඩියානු සහ සුමේරියානු නගර එක්සත් කල අතර සුමේරියානු සංස්කෘතිය ආකේඩියානු සංස්කෘතිය තුල යටපත්වීම ආරම්භ විය.මේ ආකාරයෙන් සශ්‍රීක මෙසපොටේමියාවේ බැබිලෝනියානු ඇසේරියානු පර්සියානු ග්‍රීක පාතියන් ඉස්ලාමීය ඔටෝමන් ආදීවූ විවිධ ජාතීන් විවිධ කාලවල බලවත් විය.ක්‍රි.පූ.1800 දී පමන සිදුවුනු හමුරාබි (Hammurabi) ආක්‍රමණයෙන් පසුව සුමේරියානු සහ ආකේඩියානු සංස්කෘතීන් බැබිලෝනියානු සංස්කෘතිය තුළට ගිලුනු අතර ක්‍රි.පූ.900 පමණ වනවිට සුමේරියානු භාෂාව තවදුරටත් භාවිතා නොකරන භාෂාවක් වූ අතර විශේෂ අවස්ථාවලදී හැරෙන්න එය භාවිතා නොවුනි.ක්‍රි.ව.100 පමණ වනවිට සුමේරියානු භාෂාව අතුරුදහන් වූ අතර ක්‍රි.ව.1800 දී සුමේරියානු ජනාවාස වල කැනීම් කටයුතු කල අතර ක්‍රි.ව.1900 දී සුමේරියානු භාෂාව පරිවර්තනය කෙරිනි.

සුමේරියානු පුවරුවක්
ඇත්තටම මෙම සුමේරියානුවන් යනු කවුරුන්ද?ඔවුන් පැමිණියේ කොහේ සිටද?යාබද නගරවල සිටි ජාතීන් කතාකළ සෙමෙටික් වර්ගයේ භාෂාවන්ට වෙනස් භාෂාවක් කතාකළ අනෙක් ජාතීන්ට වඩා දියුණු ජාතියක්වූ ඔවුන් එ‍ඬේර ජාතියක්වූ ආකේඩියානුවන්ට යටවීමට සිදුවුනේ ඇයි?බැබිලෝනියානු ආක්‍රමණවලින් පසු ඔවුන් ඉතිහාසයෙන් අතුරුදහන්ව ගියේ ඇයි?කලු හිසකෙස් තිබුන ඔවුන් දකුණු ආසියානු ද්‍රවිඩයන්ට සම්බන්ධ ජාතියක්ද?දකුණු ආසියානු වැදි ජනයාගේ සහ ඕස්ට්‍රේලියානු ඇබොරිජියන්වරුන්ට සමාන ජාන හමුවීමෙන් කියවෙන්නේ ඔවුන් දකුණු ආසියාවට සංක්‍රමණයවූ බවද?එසේත් නැතිනම් දකුණු ආසියාවෙන් මෙසපොටේමියාවට සංක්‍රමණය වූ බවද?ක්‍රි.පූ.4000 දී පමණ ඔවුන් නිර්මාණය කළ අද්භූත පුවරුවලින් කියැවෙන්නේ කුමක්ද?ඇතැම් අය පවසන පරිදි එම පුවරුවලින් දැක්වෙන්නේ පිටසක්වල සම්බන්ධතාවයක්ද?එසේත් නැතිනම් මිත්‍යාවක්ද?එසේත් නැතිනම් ලෝකයේ සිදුවුනු වැදගත් සිදුවීමක්ද?එසේත් නැතිනම් සිදුවීමට නියමිතව තිබූ සිදුවීමක් අනාවැකියක් ලෙස තැබූ සටහනක්ද?

මා හට හැ‍ඟෙන පරිදි අද්භූත ලෙස සටහන් කර තිබෙන එම පුවරු වලින් කියැවෙන්නේ එකල ලෝකයේ ආගමික වශයෙන් සිදුවුනු වැදගත් සිදුවීමකි.

සුමේරියානුවන් සාදන ලද එවැනි පුවරු විශාල සංඛ්‍යාවක් 1849 දී බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යඥයෙකු වූ ඔස්ටින් හෙන්රි ලෙයොන්ඩ් (Austen Henry Layard) විසින් සොයාගෙන ඇත.මේ වනවිට එවැනි පුවරු 40,000 කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත. සුමේරියානුවන් ඒවාට නිබුරු(Nibiru) නමින් හැඳින්වූ බව කියැවෙන අතර තවමත් ඒවායින් කියැවෙන්නේ කුමක්ද යන්න පිළිබඳව මතභේදාත්මකය.කෙසේ වුවත් ඒවායින් කියැවෙන අදහස පිළිබඳව සත්‍ය තොරතුරු සොයාගත හැකිවුනු දිනක ලෝකයේ පළමු ශිෂ්ඨාචාරය පිහිට වූ සුමේරියානුවන් පිළිබඳව සහ මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය පිළිබඳව වැදගත් තොරතුරු දැනගත හැකිවනු ඇත.

අතීත මෙසපොටේමියාව සරුසාර භූමියක් වීම අනෙකුත් ප්‍රදේශ යාකරන ප්‍රධාන මාර්ග මේ හරහා වැටී තිබීම යන කරුණු මුල්කරගෙන මෙම ප්‍රදේශය අත්පත් කරගැනීමට බොහෝ ජාතීන් සටන්වැදුනු අතර වර්තමානයේද තෙල් සම්පතෙන් සරුසාර එමෙන්ම භූමියේ ඇති වැදගත්කම හේතුවෙන් මෙම ප්‍රදේශයේ බලය තහවුරු කරගැනීම සඳහා වන සටන් නිරන්තරයෙන්ම වාගේ දක්නට ලැබෙයි.

Link:http://en.wikipedia.org/wiki/Mesopotamia

Tuesday, September 10, 2013

පංචතන්ත්‍රයේ කතාවක් - උපාය දත් නරියා

මේක දවසක් රේඩියෝ එකක ගිය පංචතන්ත්‍රයෙ කතාවක්.එක දවසක් කැලෑවක හිටිය නරියෙකුට හම්බුඋනා මැරිච්ච මුවෙක්ව.ඌට දැන් හරි සන්තෝෂයි වැඩි මහන්සියක් නැතුවම කෑමක් හම්බුඋන හින්ද.කැලේ අනිත් සත්තු එන්න ඉස්සෙල්ල වැඩි වෙලා ගන්නෙ නැතුවම ඌ ඒක කන්න ලෑස්ති උනා.කොහොම උනත් මුවාගෙ හම හයිය හින්ද නරියට ඒක කන එකනං ටිකක් අමාරු උනා.ඔහොම මුවාගෙ මස්ටික ඉරාගන්න උත්සාහ කරන අතරෙ එතෙන්ට ආව සිංහයෙක්.සිංහය කියන්නෙ ඉතිං කැලේ බලවතා හින්ද නරිය පැත්තකට වෙලා ආ සිංහ රාළහාමි මං මේ මුවෙක්ව මැරුව,දැන් ඒක කන්නයි හැදුවෙ,රාළහාමි කැමතිනං මුවාගෙ කෑල්ලක් කන්න කියල කිව්ව.නරිය එහෙම කියනකොට සිංහය මං මොකටද අනිත් අය මරපු සත්තුන්ව කන්නෙ කියල කල්පනා කරල බොහොම ස්තූතියි දැන් කන්න බෑ කියල යන්න ගියා.


සිංහ කරදරෙත් ඉවරයි කියල කියපු නරිය තව කවුරු හරි එන්න කලින් මේක කන්න ඕනැයි කියල හිතල මුවාව කන්න ලෑස්ති වෙන කොටම ආ...මුවෙක් වගේ කියාගෙන එතෙන්ට ආව කැලේ ඉන්න කොටිය. කොටියගෙ ගතිගුණ එච්චර හොඳ නැති බව දන්න නරිය කොටියගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනැයි කියල හිතල ඔව් කොටි රාළහාමි මේ මමයි සිංහ රාළහාමියි අල්ලපු මුවා සිංහ රාළහාමි වතුර ටිකක් බීල එන්න පහළ තියල පොකුණට ගිහින් එනකන් මට මේක බලාගන්න කියල කිව්ව රාළහාමි කැමති නං මගෙ කොටසින් කෑල්ලක් කන්න කියල කිව්ව.නිකන් හම්බුවෙන එකේ කෑල්ලක් කාල යන්න ඕනෙ කියල හිතපු කොටිය හා එහෙනං කියන හින්දම කන්නන්කො කියල සිංහය එනවද කියල බලන්න නරියට කියල මුවාව උගෙ දත්වලින් ඉරන්න පටන් ගත්ත.නරියටත් දැන් හරි සතුටුයි, මොකද ඌට මුවාගෙ හම හයිය හින්ද ඒක ඉරාගන්න බැරැවයි හිටියෙ.දැන් ඌට ඕනෙ වැඩේ කෙරුන කොටියට මොකටද මස් කෑල්ලක්වත් මම දෙන්නෙ කියල හිතල අන්න කොටි රාළහාමි සිංහල ගියපු ගමන්ම එනව කියල කිව්ව.සිංහය ආවොත් මෙතන එක යුද්දයක් වෙනවයි කියල කියපු කොටිය ෂේප් එකේ එතනින් මාරුවෙලා ගියා බලන්නෙවත් නැතුවම.

දැන් නරියට හරිම සන්තෝෂයි.ඌට ඕනෙ වැඩෙත් කෙරුන.දැන් මේක ඉක්මනටම කාලදාන්න ඕනැයි කියල හිතන කොටම එතෙන්ට ආව තව නරියෙක්.ඒ පාර තව කරදරයක් කියල කියපු නරිය, වීරයට ගරුකරන්න ඕනේ කුහකයට අල්ලස් දීල රවටගන්න ඕනේ තමන් හා සමාන අය එක්ක සටන් කරන්න ඕනැයි කියල හිතල අනිත් නරියව එලවල දාල මුවාව කාල දැම්ම.  

Monday, September 9, 2013

වසර 29ක තුර්කි-කුර්දි ගැටුම අවසන් කර සටන් විරාමයකට පැමිණීමට තුර්කිවරුන් සහ කුර්දිවරුන් තීරණය කළේ ඇයි?

සටන් විරාමයෙන් පසුව උතුරු ඉරාකයේ පිහිටි තම කඳවුරු වෙත
ගමන් කරන කුර්දි සටන්කරුවන්
තුර්කියේ වාසය කරන කුර්දි ජාතිකයන් වෙනම පාලනයක් වෙනුවෙන් 1984 සිට මේ දක්වා සටන් වැදී සිටින අතර තුර්කි අලුත් අවුරුදු දිනයේ එනම් 2013 මාර්තු 21 වැනිදා තුර්කි සිරභාරයේවෙසෙන කුර්දි නායක අබ්දුල්ලා ඔකාලන් සහ තුර්කි බුද්ධි අංශ සමඟ පැවති රහසිගත සාකච්ඡා වලින් පසුව තුර්කි රජය සහ කුර්දි සටන්කරුවන් අතර ඓතිහාසික සටන් විරාම ගිවිසුමකට එළැඹිණි.ඒ අනුව අවුරුදු 29ක් පැවති, 45,000 කට පමණ මියගිය ගැටුම් අවසන් වන බවට ලකුණු පල කරමින් තුර්කියේ සිටි කුර්දි සටන්කරුවන් 2000ක් පමණ මාස හතරක් පමණ ගතවන ගමන් මාර්ගයක් ඔස්සේ පාගමනින් දුෂ්කර කඳුකර මාර්ගයක් ඔස්සේ උතුරු ඉරාකයේ ක්වාන්ඩිල් කඳුකරයේ (Qandil) පිහිටි ඔවුන්ගේ කඳවුරු වෙත පැමිණිම ආරම්භ කළහ.අවුරුදු 29ක් තිස්සේ තුර්කි රජය සමඟ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන්වැදි කුර්දි කැරලිකරුවන් සමඟ සටන් විරාමයකට පිවිසීමට තුර්කි රජය පෙළඹුනේ කුමන අරමුණකින් විය හැකිද?

කුර්දිස්තානය
කුර්දි ජාතිකයන් යනු කවුරුන්ද? කුර්දි ජාතිකයන් යනු ප්‍රධාන වශයෙන් වයඹ දිග ඉරානයේ,උතුරු ඉරාකයේ,නැගෙනහිර තුර්කියේ සහ ඊසානදිග සිරියාවේ වෙසෙන ඉරානීය ජනවර්ගයකි (Iranian People). ඉරානීය ජනයා යනු ක්‍රි.පූ.3 වන සහස්‍රයට පෙර එනම් මීට අවුරුදු තුන්දාහකට පමණ පෙර රුසියාවේ සිට සංක්‍රමණයවූ ජන කොට්ඨාශයකි.පර්සියන්වරු,කුර්දිවරු, මීඩිස්වරු,සිතීයන්වරු, බැක්ට්‍රියන්වරු, පාතියන්වරු,සෙමෙටියන්වරු, ඇලන්ස්වරු ඔසේතියන්වරු,සෙමේරියන් වරු එසේ පැමිණී ඉරානීය ජාතිකයන්ය.එසේ රුසියාවේ සිට පැමිණි ප්‍රධාන කණ්ඩායම් තුනක් වූ අතර ඔවුන් ආර්යයන් ලෙස හැඳින්වෙයි.ඉරානීයයන් යනු වර්තමාන මැදපෙරදිග ප්‍රදේශයට එසේ පැමිණි කණ්ඩායමවේ.තවත් කණ්ඩායමක් ඉන්දියාවට සංක්‍රමණයවූ අතර අනෙත් කණ්ඩායම යුරෝපයට සංක්‍රමණය වූහ. එලෙස මධ්‍යම ආසියාවට පැමිණි ඔවුන් එම ප්‍රදේශවල තම ජනාවාස පිහිටුවා විවිධ කාලවල බලවත් වෙමින් රාජ්‍ය,අධිරාජ්‍ය පිහිටවූහ. ලොව මුල්ම ආර්ය අධිරාජ්‍යයවූ මීඩීයානු(Median ) අධිරාජ්‍යය (625BC-549BC) පිහිටවූයේද එසේ පැමිණි මීඩියානු ජාතිකයන් විසිනි.වර්තමාන කුර්දිවරු මීඩියානුවන්ගෙන් පැවත එන්නන් බව කියැවෙයි.ඉන්දියාවේ හිමාල කඳු පාමුල ජනාවාස සාදාගත් ශාක්‍යයන්ගෙන් කුර්දිවරුන් පැවත එන බවට කියැවෙයි.එනම් ශාක්‍යයන් මීඩියානුවන් කුර්දිවරුන් එකිනෙක සම්බන්ධී ජන කොට්ඨාශ බව සැලකීමට හැකිය.


වර්තමාන කාලයේදී කුර්දිවරුන් මිලියන 30-38ක් පමණ ලෝකය පුරා විසිරී සිටිති.තුර්කියේ මිලියන  20ක් පමණද ඉරානයේ මිලියන 10 ක් පමණද ඉරාකයේ මිලියන 6ක් පමණද සිරියාවේ මිලියන 2ක් පමණද වාසය කරති.තවද අසර්බයිජානයේ, රුසියාවේ,තර්කමෙනිස්තානයේ, කසකස්තානයේ,ආර්මේනියාවේ, ජෝර්දානයේ,ජෝර්ජියාවේ සහ අනෙකුත් යුරෝපා රටවල සුලුවශයෙන් ඔවුන් වාසය කරති.ඔවුන් ප්‍රධාන වශයෙන් වාසය කරන තුර්කිය ඉරානය ඉරාකය සිරියාව යන රටවල් ඇතුලත් කර කුර්දිස්තානය යනුවෙන් වෙනම රාජ්‍යයක් සාදාගෙන සිටියත් එය ස්වයං පාලන ප්‍රදේශයකි. උතුරු ඉරානයේ වෙසෙන කුර්දිවරුන් පර්සියානුවන් සමග වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කරති.තුර්කියේ වෙසෙන කුර්දිවරු තුර්කිය සමගද වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් කරති.ඉරානයේ සිටින කුර්දිවරු ඉරාකය සමග වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන්කල අතර 1991 දී ඔවුන්ට ස්වයං පාලන අයිතියක් ලැබුනි.


අවුරුදු 29ක් තිස්සේ පැවති සටන් නවතා සටන්විරාමය ගිවිසුමක් ඇතිකිරීමට දෙපාර්ශවය යොමුවුනේ කුමන හේතුවක් නිසා විය හැකිද? නේටෝව, ඇමරිකාව, යුරෝපා සංගමය යන රටවල් තහනම් සංවිධානයක් ලෙස එනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම්කර ඇති KPP (Kurdish Workers Party) පක්ෂය සමග සටන් විරාමයකට එලැඹීම තුර්කි විපක්ෂයේ දැඩි විරෝධයට ලක්විය.

එසේනම් එවැනි සටන් විරාමයකට එලැඹුනේ කුර්දිවරුන් සහ අවට රටවල් සමඟ ඔවුන් ඇතිකරගෙන තිපෙන ගැටුම් නැවැත්වීමේ අරමුණින්ද?එසේත් නැතිනම් සිරියාවේ ඇතිවී තිබෙන යුදමය තත්වයට කුර්දිවරුන්ගේ සහාය ලබාගැනීමේ අපේක්ෂාවෙන්ද?එසේත් නැතිනම් ඉරාකයේ ඇතිවී තිබෙන අස්ථාවර අවස්ථාවේ කුර්දිවරුන්ට වෙනම රාජ්‍යයක් ලබාදීමේ අරමුණින්ද?නැතිනම් ඒ සියලුම කරුණු මුල්කරගෙනද?

Friday, September 6, 2013

චීන මුතුමාලය සහ නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය

චීන සබ්මැරීන ඉන්දයින් සාගරයේ 
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධව සොයාබැලීමට  2013 අගෝස්තු 25 වැනි දින ලංකාවට පැමිණියාය.ශ්‍රී ලංකාවේ යුද සමයේ සිදුවුනා යැයි කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධව සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයට උවමනාබව බැලූ බැල්මට පෙනුනද සැබෑ අවශ්‍යතාවය එයම නොවේ.මානව හිමිකම් චෝදනා එල්ල කර ශ්‍රී ලංකා ආණ්ඩුව හිර කරමින් ඔවුන් උත්සාහ කරන්නේ ඊට වඩා වැඩි අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමටය.

චීන ව්‍යාප්තිය අද වනවිට මුලු ලෝකයටම ගැටලුවක් වී ඇති බව කිව යුතුය.කම්කරු අයිතීන්,මානව හිමිකම් ආදීන් තුට්ටු දෙකට දමා ලාභදායි භාණ්ඩ නිෂ්පාදනය කර අනෙකුත් රටවල කර්මාන්ත අනතුරේ දමා ඉලක්කම් වලින් ආර්ථිකමය වශයෙන් අනෙකුත් රටවල අභිබවා ඉදිරියට එමින් සිටින චීනය අනෙකුත් රටවලට එම රටවල ස්වෛයිරීත්වයට අහිතකර බලපෑම් එල්ල කරමින් සිටී.

චීනයේ සිට සූඩාන වරාය දක්වා දිවෙන චීන මුතු මාලය (The String of Pearls) ලෙසින් හැඳින්වෙන ඔවුන්ගේ නාවුක ව්‍යප්ති මාර්ගය වටා ඇති රටවල් චීනය විසින් සූරාකෑමේ අවධානමක් ඇති බව කිවයුතුය.දැනටමත් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති නාවුකමය වැදගත් වරායන්ගේ බලය ඔවුන් විසින් තහවුරු කරගෙන ඇත.ඒ ආශ්‍රිතව පිහිටා ඇති රාජ්‍යයන් පාලනය කරන පාලකයන් විවිධාකාරී වූ ක්‍රම මගින් ඔවුනට උවමනාලෙස නම්මවාගෙන චීනය ගෙනයන මෙම ව්‍යාප්තියට ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග ලෙස කලාපීය බලවතාවූ ඉන්දියාව විවිධාකාරීවු ක්‍රියාමාර්ග ගෙනයමින් සිටී.

චීන මුතුමාලය
ඉන්දියාව මින්පෙර චීනය සමඟ දේශසීමා වශයෙන් ගැටලු ඇතිකරගෙන තිබුනි.එහෙත් අද වනවිට චීනය ඉන්දියාව සමඟ ගැටුම් ඇතිකරගෙන තිබෙන සිටින පාකිස්ථානය සමඟ එක්වී ඉන්දියාව ඉන්දියන් සාගරය දෙසින් පැමිණ වටකරමින් සිටී.අතීතයේ ඉන්දියාව සමඟ මිත්‍ර රාජ්‍යයක් ලෙස සිටි ශ්‍රී ලංකාවේ පාලකයන්ද චීනයේ කොමිස් මුදල්වලට යටවී සිටියි. ඉන්දියාවට එල්ලවී ඇති මෙම බලපෑම ඇමරිකාවටද යුරෝපයටද බලපෑම් ඇති කරන බවද කිවයුතුය එනම් ඉන්දියාව චීනයේ ග්‍රහණයට ලක්වුවහොත් චීනයේ ඊළඟ ඉලක්කය වන්නේ ඇමරිකාව සහ යුරෝපයයි.

නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට පැමිනෙන්නේ මෙවැනි පසුබිමක් තුළය.චීනය විසින් සල්ලි වලට නම්මවාගෙන සිටින මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා චීන ව්‍යාප්තිය නැවැත්වීමට ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට ඇමරිකාව මෙන්ම ඉන්දියාවද කටයුතු කරමින් සිටියි.ඒ සඳහා මිලියන 100ක පමණ දෙමළ ඩයස්පෝරාවේත් ඉන්දියාවේත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් බලපෑම ශ්‍රී ලංකා ආණ්ඩුවට එරෙහි ලෙස යොමු වෙමින් පවතී.

ආත්මාර්ථකාමී ඒකාධිපති දූෂිත පාලකයන් නිසා රටවල් අවුලෙන් අවුලට පත්කරයි.රටේ මර්මස්ථාන විදේශිය රටකට බද්දට දීමේදී හෝ සංවර්ධන කටයුත්තකට පැවරීමකදී සැලකිලිමත් විය යුතුය.රුසියාව සිරියාවේ පිහිටා ඇති එනම් සිරියාවෙන් බද්දට ගත් ටාටුස් වරාය රැකගැනීමට ඒකාධිපති පාලක බෂීර් අල් අසාද්ට සහාය දීම හේතුවෙන් අද සිරියාවට උදාවී ඇති තත්වය ඊට හොඳම උදාහරණය සපයයි.  

Thursday, September 5, 2013

ටියුනීසියාවෙන් ආරම්භවුනු අරාබි වසන්තය


2010 දෙසැම්බර් 18 වැනිදින ටියුනීසියාවෙන් ආරම්භ වුනු මහජන නැගිටීම ජනතා මතයට ඇහුම්කම් නොදී තමන්ගේ සැපපහසුව පමණක් සිතන රටවල් ගනනාවක දූෂිත ඒකාධිපති පාලනයන් පෙරලා දැමීමට මුල්වුනු සිදුවීමක් විය. ටියුනීසියාවේ පළතුරු වෙළෙන්දෙකු වූ 26 හැවිරිදි මොහොමඩ් බව්සිසි හට එරට පොලීසියකින් සිදුවුනු අසාධාරණයට සාධාරණය ඉටුනොවීම හේතුවෙන් ඔහු ගිනිතබාගත් අතර එම සිදුවීම ටියුනීසියාවේ ජනතා නැගිටීමට හේතු විය.එයින් මාසයක් පමණ කාලයක් ඇතුලත එරට පාලනය පෙරලා දැමීමට ජනතා උද්ඝෝෂණය ප්‍රභල විය.
  
උතුරු අප්‍රිකානු රාජ්‍යයක්වූ ටියුනීසියාවෙන් ආරම්භ වුනු එම ජනතා නැගිටීම උතුරු අප්‍රිකාවේ අනෙකුත් රටවල් හරහාද වේගයෙන් හමාගිය අතර එතැනින් නොනැවතී මැදපෙරදිග රටවල් වලටද එමෙන්ම දකුණු ආසියානු රටවල්වලටද එහි බලපෑම එල්ලවිනි.ටියුනීසියාවේ මෙන්ම ඊජිප්තුවේ,ලිබියාවේ,යේමනයේ මෙන්ම දකුණු ආසියාතික රටක්වූ මාලදිවයිනේද ඒකාධිපති පාලනයන් පෙරලා දැමීමට සමත්වුනු එම සිදුවීම් මාලාව තවමත් බොහෝරටවල දූෂිත ඒකාධිපති පාලකයන්ට විරුද්ධව ක්‍රියාත්මකව පවතී.

ටියුනීසියාවේ පළතුරු වෙළෙඳාගේ ගිනිතබාගැනීමෙන් මෙම සිදුවීම් මාලාව ඇතිවීම අහඹු සිදුවීමක්ද?එසේත් නැතිනම් දූෂිත පාලකයන් කෙරෙහි කැකෑරෙමින් තිබුනු මහජන මතය පුපුරායාමට දීමට එම සිදුවීම හේතුවිනිද?ඇත්ත වශයෙන්ම එමසිදුවීම් දාමයට එකිනෙක බැඳුනු හේතූන් ගණනාවක් හේතුවුනු බව කිවහැකිය.ඒකාධිපති පාලකයන්ට එරෙහිව මහජන නැගිටීම එහි ප්‍රතිඵලයයි.

මොහොමඩ් බව්සිසි

රටේ ජනතාව ගැන නොබලා තමන්ගේ සැපපහසුව පමණක් සලකන පාලකයන් ඉතිහාසයේ මෙන්ම වර්තමානයේද සිටිති.ආර්මාර්ථකාමිත්වයෙන් සහ බලලෝභයෙන් යුතු ඔවුන්ගෙන් ජනතාවට සිදුවන්නේ අයහපතක්මය.පාලකයන් දූෂිතවන විට රජයේ නිළධාරීන්ද දූෂිත වන අතර රාජ්‍යයන් පිරිහී යාමට එම දූෂිත පාලයන් හේතුවෙයි.ටියුනීසියාවේ පැවතුනේද එවැනි පාලනයකි.පළතුරු වෙළෙන්දෙකු වූ මොහොමඩ් බව්සිසි පොලිස් නිළධාරීන්ට අල්ලස් දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් එම පොලිස් නිළධාරීන්ගේ තාඩන පීඩන වලට ලක්වුනු අතර ඔහුට එහෙහිව අසත්‍ය චෝදනා එල්ල කිරීමට එම දූෂිත පොලිස් නිළධාරීන්  ක්‍රියා කළහ.එයින් සාධාරණයක් ලබාගැනීමට ආණුඩුකාරවරයා හමුවට ගිය මොහොමඩ් බව්සිසිට ඔහු හමුවීමටවත් අවස්ථාවක් නොලැබුනු අතර ඉන්පසු තමන්ට සිදුවුනු අසාධාරණයන්ට විරෝධය දැක්වීමක් වශයෙන් ඔහු ගිනිතබා ගන්නා ලද අතර සති කීපයකට පහු ඔහු මරණයට පත්විය.

ටියුනීසියාවේ මෙන්ම දියුණු වෙමින් පවතින අප්‍රිකානු ආසියානු බොහෝමයක් රටවල රාජ්‍ය නිළධාරීන් අල්ලස් ගැනීම තම බලය අයුතු අන්දමින් යෙදවීම සුලභ සිදුවීමකි.අකාර්යක්ෂම රාජ්‍ය පාලනය මෙයට හේතුවන බව කිව යුතුය.රාජ්‍ය පාලකයන් අකාර්යක්ෂම වනවිට දූෂිත වනවිට රාජ්‍ය නිළධාරීන්ද අකාර්යක්ෂම සහ දූෂිත වේ.රාජ්‍ය පාලකයන් අකාර්යක්ෂම දූෂිත වීමට රටේ සියලුම දෙනා වගකිවයුතුය, එය එක්කෙනෙකුට දෙදෙනෙකුට වගකීම පටවා නිදහස්විය නොහැක.

අසාධාරණයට සාධාරණයක් ඉටුනොවුනු තැන ගිනිතබාගැනීමෙන් තමන්ගේ විරෝධය පලකල කිරීමට ටියුනීසියානු පළතුරු වෙළෙන්දා තීරණය කල අතර සන්නිවේදන දියුණුව එම සිදුවීමට විරෝධය දැක්වීමට ජනතාව ඒකරාශී කිරීමට මෙන්ම එම සිදුවීම ලෝකය පුරා ගෙනයාටද  සමත්විය.අතීතයේදී බලවත් සන්නිවේදන ආයතන හරහා ඔවුන්ට උවමනා තොරතුරු ජනතාවට ලබාදුන්නද අද වනවිට ඍජුවට ලෝකයේ සිදුවන සිදුවීම් දැනගැනීමට හැකියාව ඇත.ෆේස්බුක්,ටුවිටර්,යූටියුබ්,බ්ලොග් වෙබ් අඩවි වලින් මේ සඳහා සෑහෙන අනුබලයක් ලැබේ.ටියුනීසියාවේ සිදුවුනු සිදුවීම එම රටේ සිදුවුනු තවත් එක්  හුදෙකලා සිදුවීමක් නොවී අනෙකුත් රටවලට පැතිරගොස් උත්තේජයක් සැපයීමට එම නිදහස් සන්නිවේදන මාධ්‍ය හේතුවුනි.

අද ලෝකයේ සියලුම දෙනා සන්නිවේදනය හරහා එකිනෙකාට බැඳී සිටිති.දැනුම තොරතුරු ඉතාමත් වේගයෙන් හුවමාරු වේ.වෙනත් රටවල රාජ්‍යයන් සාර්ථක ලෙස රාජ්‍ය පාලනයක් ගෙන යන ආකාරය එම රටවලට නොගියද මොනිටරයක් ඉදිරිපිට සිට දකී.ඒ ආකාරයෙන් බුද්ධිමය ලෙස සන්නද්ධ වූ ජනතාවක් එක්වුනු තැන ආත්මාර්ථකාමී ඒකාධිපති පාලකයන්ගේ පාලනයන් පෙරලීයයි.අද සිදුවෙමින් පවතින්නේ එයයි.

අරාබි වසන්තය යනුවෙන් හැඳින්වෙන මෙම සිදුවීම් මාලාව මල් නොපිපෙනා වසන්තයක් බව කියනු අසන්නට ලැබේ.අල්කයිඩා වැනි සංවිධාන මෙම ව්‍යපාරයට සම්බන්ධ වීම,අද වනවිට සිරියාවේ ඇතිවී තිබෙන තවමත් නිමා නොවුනු යුද තත්වය,බලවත් රටවල අනවශ්‍ය ඇඟිලි ගැසීම් වැනි හේතූන් නිසා ඔවුන් එවැනි නිගමනයකට එළඹුනද අරාබි වසන්තයේ මල් පිපීම නුදුරු අනාගතයේදී සිදුවනු ඇතිබව මගේ විශ්වාසයයි.

අප්‍රිකානු මැදපෙරදිග රටවල් වලට පමණක්නොව දූෂිත පාලකයන් නිළධාරීන් සිටින ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය වැනි දකුණු ආසියානු රටවලට මෙන්ම දූෂිත පාලකයන් සිටින සෑම රටකටම අරාබි වසන්තය හමා යා යුතුය.මිනිසා විසින් මිනිසා පාලනය කරන දූෂණයෙන් භීෂණයෙන් තොර සාධාරණ සමාජයක් ගොඩනැගීම සඳහා ඊට කැමති සියලුම දෙනා එය වටා රොක්විය යුතුය.